ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක ලංකාවේ කොල්ලෙක්
ලෝකය තවදුරටත් හුදෙක් සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක් නොවේ.
තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී
ක්‌ලාක් අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ
පිපිරීමක් පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක් ඉක්‌මවා
යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට් තත්ත්පර නවයක්
තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින්
අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය.
එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය
පුදුම සහගතය. එයිනුත් facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි.
එහෙත් මාක් සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook
ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක් ඒ වෙත
ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස
තුළදීම ඔහුව බිලියනපතියෙක් කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන්
ගුණ නොවැයුනු සගයන් රාශියක්‌ද සිටි බව නොරහසකි. අපේ කතා නායකයා හමුවන්නේ
එහිදීය. ඔහු මේ පොළොවේ උපන් ශ්‍රී ලාංකිකයෙකි. චමත් පලිහපිටිය යනු එකී
සුවිශේෂී වූ ශ්‍රී ලාංකිකයායි.
1976 වසරේ සැප්තැම්බර් මස 3 වැනි දින උපත ලබන ඔහු වයස අවුරුදු 6 දී
කැනඩාවට සංක්‍රමණය වී උසස් අධ්‍යාපනය ලබාගන්නේ වෝටර්ලු සරසවියෙනි. එහිදී
ඉලෙක්‌ට්‍රොනික ඉංජිනේරු උපාධියක් හිමි කරගනු ලබන ඔහු සිය මුල්ම රැකියාව
සඳහා තෝරාගන්නේ BMO Nesbitt Burns නමැති ආයෝජන බැංකුවයි. නමුත් සෑම විටම
දූරදර්ශීව සිතන ඔහු සිය අනාගත අපේක්‍ෂාවන් සඳහා එය තෝතැන්නක් නොවන බව වටහා
ගැනීමෙන් 2000 වසරේදී ඔහු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වෙත සංක්‍රමණය
වන්නේය. ඒ ඔහුගේ පෙම්වතියද කැටුවය. එම ගමන ඔහුගේ ඉරණම වෙනස් කරන ගමන විය.
එහිදී චමත්ට ඇමරිකාවේ AOL සමාගම හා එකතුවීමට අවස්‌ථාව ලැබේ. පසුව ඔහු 2004
වන විට එහි අධ්‍යක්‌ෂ මණ්‌ඩලයටද ඉන් පසුව එහි උප සභාපති තනතුරටද පත්වනුයේ
කැලිෆෝනියා ප්‍රාන්තය සිය සිහින සැබෑකරලීමට අවශ්‍ය කදිම පතිරූප දේසවාසයක්
යන්න සනාථ කරමිනි. නිරන්තර අභියෝග භාරගැනීමේ පිපාසාවෙන් පෙළුන චමත් 2005
වසරේ එම සමාගමෙන්ද ඉවත්වනුයේ සිය දෛවය අධ්‍යක්‌ෂක තනතුරක් ඉදිරියේ පමණක්
සීමා නොකළ යුතු යෑයි යන්න වටහාගැනීමෙන් අනතුරුව විය හැකිය.

2005 වසරෙන් පසු ඔහු සිය දිවියේ පෙරලිකාරීතම අවධියට පියවර තැබුවේය. එම
පෙරළිය තුළ සිටියේ facebook ආයතනයයි. එවකට අද මෙන් ජනප්‍රිය සන්නාමයක්
නොවූ facebook ආයතනය හුදෙක්‌ම එක් වෙබ් අඩවියක් පමණක් වූ අතර වෙළෙඳ ලොව
ප්‍රබල සමාගමක අධ්‍යක්‌ෂක තනතුරක් පසෙකලා එවන් කුඩා ආයතනයක සේවයට එක්‌වීමට
චමත් තීරණය කළේය. පුද්ගලයකු පරිසරය තුළ නිසි ලෙස ර¹පැවැතීම තීරණය වන්නේ
ඔහු වෙනස් වන ලෝකය සමඟ ඉදිරියට යැමෙනි. චාල්ස් ඩාවින් පැවසූ පරිදි නොනැසී
රැකුනේ ශක්‌තිමත් හෝ බුද්ධිමත් ජීවීන් නොවේ. වෙනස් වන පරිසරයට අනුවර්තනය
විය හැකි ජීවීන් ය. චමත් තුළ එම හැකියාව කදිමට පිහිටා තිබුණු බව පෙනේ. ඔහු
ශීඝ්‍රයෙන් වෙනස් වන මේ තාක්‍ෂණික ලෝකය සමඟ අනුවර්තනය වීමේ පුදුම
හැකියාවකින් යුක්‌ත වූවෙකි. ඒ නිසාම ඔහු එවකට (2005) එතරම් ජනප්‍රිය නොවූ
ෆේස්‌බුක් ආයතනය තමන්ගේ අනාගතය ආලෝකවත් කරන වෘත්තීය ජීවිතයේ කඩඉම ලෙස තෝරා
ගනී. ඔහු අද වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට සමත් ධෛර්යය සහ අත්දැකීම් මේ
පුංචි මිනිසා සතු වන්නේ එහිදීය. එය සනාථ කරමින් ඔහු facebook ආයතනය ජනගත
කිරීමෙහිලා මහඟු වූ දායකත්වයක් නිරන්තරයෙන් ලබාදීමට පසුබට වූයේ නැත.
facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් ගේ සාර්ථකත්වය සඳහා එක් හේතුවක් වූයේද
ඔහු සතුවූ සේවකයන්ගේ ධෛර්ය හා කැපවීමයි. එවන් වූ සේවක පරපුරක් අතර චමත්
පලිහපිටියද ඉදිරියෙන්ම සිටියේය. එහෙත් ඔහුට අනාගත ඉලක්‌කයක් තිබිණි.
එම ඉලක්‌කය අනුව 2011 වසරේදී චමත් facebook ආයතනයෙන් ඉවත්වීමට තීරණය
කරනුයේ තවත් එක් අභියෝගයක් භාරගැනීමේ අටියෙනි. ඒ වන විට facebook වෙබ්
අඩවිය සකල ලෝකවාසීන්ගේම ජීවිතයට නැතුවම බැරි අංගයක් බවට පත්ව තිබුණු නමුත්
තරුණ වියේ සිටි චමත් සතුව පැවති ඉලක්‌කයන් සහ සිහිනයන් තෘප්ත කරලීමට එකී
කරුණ පමණක් ප්‍රමාණවත් වූයේ නැත. ඔබ සිහින දකින්න. සිහිනය ඔබ සාර්ථකත්වය
කරා රැගෙන යනු ඇත. චමත් තම නොසිඳෙන ආත්ම විශ්වාසය මෙන්ම එය ද ඇදහුවේය.
සාර්ථක ව්‍යවසායකයෙක් ලෙස ඔහු නිරන්තරයෙන් සිහින දැක්‌කේය. එලෙස සිහින
දකිමින්ම කල් ගත කිරීමට අකමැති වූ ඔහු සිහින යථාර්ථයක් කරගැනීමටද
නිරන්තරයෙන් ඇප කැප විය. ඔහුගේ සිහින දැකීමේ හැකියාවට තරුණ ජවයද එක්‌වූ විට
එය අපහසු කර්තව්‍යක් නොවූ බව සනාථ වූයේ 2011 වසරේදීය. ඒ තමාටම කියා
ව්‍යාපාරයක් ගොඩනැඟීමේ පදනම දමා ගැනීමට ඔහු සමත්වීම තුළින් ය.
එතැන් සිට ඔහු ව්‍යාපාර ලෝකයේ වේගවත් ධාවකයෙක් වූයේය. අභියෝග ඔහුගේ
ජීවිතයේ කොටසක් කර ගත්තේය. සෞඛ්‍ය අධ්‍යාපන වැනි ක්‍ෂේත්‍රයන් තුළ
සම්ප්‍රදායක ඒකාබද්ධ අරමුදල් ආයෝජනය කිරීම බොහෝ ව්‍යාපාරිකයන් අකමැති වන්නා
වූ පසුබිමක චමත් එකී ක්‍ෂේත්‍රයන් හි තමන්ගේ ප්‍රාග්ධන අරමුදල් විවෘත
කළේය. ඒ අනුව 2011 වසරේදී ඔහු Social Capital Partnership නම් ඒකාබද්ධ
ප්‍රාග්ධන අරමුදලක් (Venture capital) කොටස් වෙළෙඳපොළ තුළ දියත් කරන ලදි.

කෙසේ වෙතත් දරන ලද අවදානම් සියල්ල ජයගනිමින් ඔහු කෙටි කලකින්ම ස්‌ථාවර
ස්‌ථානයක් අනෙකුත් ඒකාබද්ධ අරමුදල් අතර දිනාගනු ලැබුවේ ඒකාබද්ධ අරමුදල්
ක්‍ෂේත්‍රය වෙත නව සම්ප්‍රදායක්‌ද දායාද කරන අතරමය. ඔහු ලබාදුන් සාර්ථක
ආරම්භයෙන් පසුව බොහෝ ඒකාබද්ධ අරමුදල්, කොටස් වෙළෙඳපොළවල් තුළ පවතින
අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සුබසාධක ක්‍ෂේත්‍රයන් කෙරෙහි යොමු වූ අතර එයින්
සමාජයේ ප්‍රගමනය සඳහාද අමිලවූ දායකත්වයක් සපයන ලද්දේ චමත් පලිහපිටියගේ
දූරදර්ශි ක්‍රියාපිළිවෙළට පින්සිදුවන්නටය.2013 වසරේදී චමත් සිය ප්‍රාග්ධන
අරමුදල යොදා Glooko,inc,Yamer,Box වැනි සමාගම්හී ආයෝජනයන් සිදු කළ අතර එහි
ප්‍රතිඵලයක් ලෙසට එම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 275 ලාභයක්
ඉපයීමට ඔහුට හැකිවිය. එමෙන්ම 2015 වසර වන විට ඔහුගේ ආයතනයේ නාමය Social
capital නමින් වෙනස්‌වූ අතර එම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.1
වත්කම් ඔහු සතුව පැවතුනි.
එම ජයග්‍රහණයත් සමඟ පසුගිය සතිය තුළ ලෝකයේ පවතින්නාවූ ප්‍රධානතම
ව්‍යාපාරික සඟරාවන්හි මුල් පිටු සැරසූයේ පැහැපත් තලෙළු සමකින් යුතු මේ
අපූරු ශ්‍රී ලාංකික පුත්‍රයා ය. එම ස්‌ථානය ඔහුට ලැබුණේ ඇමරිකාවේ
නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ වාර්තාවක්‌ද තම නම ඉදිරියේ සටහන්
කරගන්නා අතරමය.
ලන්ඩනයේ ක්‍රියාත්මක වන තවත් ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදලක් වන
Hedosophia නම් ආයතනයත් සමග ඒකාබද්ධ වෙමින් අරඹන ලද Social Capital
Hedosophia Holdings Cooperation නම් ආයතනයේ මූලික කොටස් නිකුතුව
නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 600
දැවැන්ත මුදලක් එක් දිනක් තුළ ඉපයීමට ඉනික්‌බිතිව ඔහු වාසනාවන්ත විය. එය
දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 91000 පමණ වූ අගයකි. කිසිදු
භාණ්‌ඩයක, සේවාවක සැපයීමකින් තොරව හුදෙක් නව ආයතනික නාමයක් පමණක් කොටස්
වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් මේසා විශාල ප්‍රාග්ධනයක් ඉපැයීමට සමත් වීමෙන්
චමත් පලිහපිටිය සතු තියුණු ව්‍යාපාරික දැනුම මනාව විදහා දැක්‌වෙන එම
හපන්කමත් සමඟ ලෝකය ඔහුව දුටුවේ කීර්තිමත් ව්‍යාපාරික වොරන් බෆට් ගේ ඊළඟ
පුරුක ලෙසය. ඇමරිකානු මාධ්‍යයන් විසින් චමත් පලිහපිටියව එලෙසින්
හඳුන්වාදීමට නොපැකිලි විය. මහජන නිකුතු හරහා ව්‍යාපාරික කටයුතු සඳහා ඇවැසි
ප්‍රාග්ධනය සපයාගැනීමට අපහසු තාක්‍ෂණික අංශයේ ව්‍යාපාරයන්a සඳහා ප්‍රාග්ධනය
ලබාදීමට කටයුතු කිරීමේ අපේක්‌ෂාව පෙරදැරිව මෙම නව සමාගම කොටස් වෙළෙඳපොළ
වෙත පිවිසි අතර ඒ සඳහා එක්‌දිනක් තුළ ලද ප්‍රතිචාරය සුළු පටු නැත. චමත්
එහි ජයග්‍රාහී අවසානයක් ළඟා කර ගැනීමට සමත් විය.
සැබෑවටම ශ්‍රී ලාංකිකයන් ලෙස අප චමත් පලිහපිටිය පිළිබඳව ආඩම්බර විය
යුතුය. නමුත් එම ආඩම්බරවීමෙන් ම නොනැවතී ඔහුව ආදර්ශයක් බවටද පත් කරගත
යුතුය. චමත් ශ්‍රී ලංකාවේ උපත ලබා කැනඩාවේ හැදී වැඩී ඇමරිකාව තුළ සිය
ව්‍යාපාර දියුණු කර ගත් බව ඇත්තය. නමුත් ඒ ජයටැඹ වෙත ළඟාවීමේදී අනේකවිධ
බාධකයන් ඔහු පසුපස හඹා එන්නට ඇත. කෙසේ වෙතත් ඔහු බාධාවලට බාධකයක් වී අද
දින ව්‍යාපාරික ලොව දිග්විජය කොට ඇත. තවමත් 41, වියෙහි පසුවන්නෙක් ලෙසට
ඔහුට තව යාහැකි දුර අසීමිතය. ඔහු ඒ දුරද නිසැකයෙන්ම තරණය කරනු ඇත. නමුත්
ලාංකිකයන් වන අපට ඔහු පිළිබඳ වන එම ආඩම්බරය හුදු හැඟීම් මාත්‍රයක් පමණක්
නොවනු ඇත්තේ එවැනි අධිෂ්ඨානශීලී මිනිසෙක් ජන්මය කළ මේ පොළොවට ඔහුගේ සේවය
ලබා ගැනීමට හැකි නම් පමණි.
තිස්‌ස ගුණතිලක
මිගාර සමරකෝන්
මිගාර සමරකෝන්
Comments
Post a Comment