පොත් වලින් ජීවිතය ජයගත් මිනිසෙක්

කොළඹින් හැතැප්ම සියයක් තරම් ඈත පාලටුව ගමේ සිට ඔහු කොළඹ ආවේ පුංචි කොලුවකු ලෙසිනි. බඩගින්න හා බැඳුණු ආර්ථික දරිද්‍රතාව, සැබවින් ම ඔහු කොළඹට තල්ලු කළේය. අද මෙන් ම එදාත් අන්තිම නරක මරදානේ ඔහු නෙළුමක් මෙන් පිපුණේය. බොහෝ දුක් විඳ ව්‍යාපාරයක් හැදුවේය. ජීවිතයට යහ මඟ කියා දෙන පත පොත මෙන්, ඔහු අධ්‍යයනය ද වටින්නේ එහෙයිනි. මේ ඔහුගේ කතාවයි.



මං ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා.

පොත් කියන්නෙ හොඳහැටි ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නේද…

මටත් මේක ඉස්සර බිස්නස් එකක් විතරයි. හැබැයි දැන් වෙනස්. දැන් බිස්නස් එක වගේ ම සේවය ගැනත් හිතනවා. ලාභ හොඳින් උපයන්න පුළුවන් විකිණෙන පොත් විතරක් මුද්‍රණය කරනවා නම් විතරයි. නමුත් සේවයක් කිරීමේ අරමුණින් කරන පොත්වලින් ලාභ හොයන්න බැහැ.

එතකොට මොනවද ඔය විකිණෙන හා නොවිකිණෙන පොත්…

අද ලාභයක් ඇතිව හම්බ කරන්න පුළුවන්, පාසල් ළමයින්ගේ විෂය පොත්වලින් විතරයි. කීය වුණත් ගන්නවනේ. එතකොට නොවිකිණෙන ඒවා තමයි, ශාස්ත්‍රීය පොත් සහ කවි, කෙටිකතා පොත්. මේවා කරන්නේ සේවයක් හැටියට.

ඔබට ගොඩගේ පොත් මැදුරු කීයක් තිබෙනවද…

මරදාන මේ පොත් සාප්පුව හැරෙන්න වෙන එකක්වත් මට නැහැ. අයියගෙ පුතාලා, නංගිගෙ දුව ඇතුළු ඥාතීන්ගෙ පොත් සාප්පු තමයි රට පුරා ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. මගේ නමින් තිබුණට මගේ කිසි සම්බන්ධයක් නැහැ. තරහකුත් නැහැ. ඒවා ස්වාධීනයි. මගේ නම නිසා කවුරු හරි ජීවත් වෙන එක ගැන මට සංතෝසයි.

මේ රටේ කී දෙනෙකුට ඔබ රස්සා හදා තිබෙනවද…

වැල්ලම්පිටියේ ප්‍රෙස් එකත් ගත්ත ම ඍජුව දෙසීයක් විතර. වක්‍රව තවත් පිරිසක් ඉන්නවා. පිට අච්චු කන්තෝරුවලටත් අපි වැඩ දෙනවා. ගෙවල්වල ඉඳන් අපිට වැඩ කරන පිරිසකුත් ඉන්නවා.

ව්‍යාපාර ඥානය, ඔබට පවුල් උරුමයක් ද…

මගේ පවුළෙ ව්‍යාපාරිකයෝ නැහැ. තාත්තා කළේ ගොවිතැන්. කාලෙකට පොළොව පැලෙන්න පායන, කාලෙකට ගේ දොර කුඹුරු ඉඩ කඩං හේදිලා යන තරමට ගං වතුරෙන් යටවෙන මාතර පාලටුව ගමේ, ගොවිතැන මහා සටනක් වුණා. ඒත් තාත්තා ඒ මහ පොළොව එක්ක ඔට්ටු වෙන හැටි දැක්ක ම පුංචි වුණත් හිතට මහා දුකක් දැනුණා. කීයක් හරි හම්බ කරන්න මොනවා හරි කරන්න ඕනෙ කියන සිතිවිල්ල හැම වෙලාවෙ ම හිතට වද දුන්නා.

ඉතින් ඔබ මොකද කළේ…

තණකොළ කපලා මිටි බැඳලා කරත්තකාරයන්ට විකිණුවා. බඩවැටියෙන් ගොටුකොළයි – මුගුණුවැන්නයි නෙළාගෙන ඒවත් මිටි බැඳලා, කඩපොළට යන ඒ අයට ම විකිණුවා. තණකොළ කපද්දි බූව ගැවුණා ම ඇඟ කසනවා. ඒත් අතහරින්නෑ. වයස අවුරුදු දහයක දරුවෙක්. හැබැයි හිත හයියයි. ඒවා විකුණලා ලැබෙන මුදල් ගෙදර වියදමට අම්මට දුන්නා. පොඩි කොටසක් ඉතිරිත් කළා.

එහෙනම් අරපිරිමැස්ම හෝ දුක් අමාරුකම් ඔබේ ජීවිතයට අලුත් දේ නෙවෙයි…

ඔව්. ඒ ළමා කාලෙ පුරාම තිබුණෙ අගහිඟකම… කෑම අහේනිය. ඒ දේවල් කොයිතරම් බරපතළ විදියට අපි වද දුන්න ද කිව්වොත් අවුරුදු හය වෙනකල් මට ඉස්කෝලෙ යන්න බැරි වුණා. මං නිතර ලෙඩ වෙච්චි දරුවෙක්.

පොත් කියැවීමේ පුරුද්ද ඔබේ ජීවිතයට කළ ලොකු ම බලපෑම කුමක් ද…

පියදාස සිරිසේන මහත්තයා ගේ පොත් කියවන්න තිබුණු පුරුද්ද නිසා හැම වෙලාවෙ ම නරකින් ඈත් වෙච්චි ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. ඊටත් වඩා අම්මා කියා දීපු කවි කතන්දර බණ කතා නිතර මතක් වුණා. ඕන නරක සමාජෙක හොඳින් ජීවත් වෙන්න පන්නරය ලැබුවෙ මේ දේවල්වලින්.


පොත් නිසා ඔබේ ජීවිතයට ලැබුණු හොඳ ම දේ මොකක්ද…

හැම දේම. යාන වාහන ගෙවල් දොරවල් සැප සම්පත්, කීර්තිය යසය… සම්මාන… ජීවිතාවබෝධය… මේ හැමදේ ම. මං ආගමට බොහොම ලැදි භාවනානුයෝගී මනුස්සයෙක්. හැබැයි පන්සල බදාගත්තු පන්සල් බෞද්ධයෙක් නම් නෙවෙයි, දහම තියෙන්නෙ හදවතේ සහ ජීවිතේ පමණයි.

ඔබ ජීවිතයේ අවස්ථාවන් හඹාගෙන, හොය‍ාගෙන ගිය කෙනෙක්ද…

ඔව්. නමුත් සමහර දේ අහම්බයන්. දවසක් කළුබෝවිලදි අපේ තාත්තගෙම හැඩරුව තියෙන මනුස්සයෙක් පොල් කරත්තයක් තල්ලුකරගෙන යනවා මං දැක්කා. ටික වෙලාවක් බලා ඉඳලා මං ළඟට ගියා. ‘ඔහේ මාතර නේද?’…. මං ඇහුවා. විස්තර කතා කළා. ඒ තමයි මං කවදාවත් දැකලා තිබුණේ නැති මගේ බාප්පා. බාප්පා මාව බෝකුන්දර එයාගෙ ගෙදර එක්ක ගියා. බාප්පා තමයි මාව එම්.ජේ. කුරේ අච්චු කන්තෝරුවට දැම්මෙ.

ඒ තමයි ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය…

ඔව්. මුළු ලංකාවට ම මුද්‍රණ අකුරු හැදුවෙ ඒ සමාගම. අච්චු අකුරු ඊයම්වලින් වක්කරන හැටි, අකුරු අමුණන හැටි, මං ඉක්මනින් ඉගෙන ගත්තා. අවුරුද්දකට විතර පස්සෙත් එතැන දියුණුවක් පේන්න නැති තැන බාප්පා මොරටුවෙ ඩී.පී, දොඩංගොඩ සමාගමේ රස්සාවක් හොයා දුන්නා. මුද්‍රණ කර්මාන්තයේ මගේ උසස් පාසල වුණේ එතැන. පොත් බඳින්න ඉගෙන ගත්තෙ එතැනින්. නැවතිලා හිටියෙ ‍ගොරකානෙ පොඩි කාමරේක. ඒ ඉන්න ගමන් මං පොත් බැඳීම කළා. හම්බ කළා. නිතර මරදානේ ගියා. පොත් කර්මාන්තෙ එක්ක දියුණු වෙන්න පුළුවන් තැන මරදානෙ බව මං දැන ගත්තා. ඒ නිසයි, මං මරදානෙට යන්නෙ. එදා තරුණයෙක් විදිහට මරදානට ආපු ගමනෙ අවුරුදු 81 වෙලා. අදත් මං මරදානේ.

පොත්වලින් ඔබ තබපු වාර්තාව මොකක්ද…

1985 ඉඳන් අද වන තෙක් අවුරඅදු 30ක් නොකඩවා රාජ්‍ය සාහිත්‍ය සම්මා‍නය හිමිවුණේ මට. ඒ වැඩිම පොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම වෙනුවෙන්. ඒ වාර්තාව කාටවත් බිඳින්න බැහැ.

එතකොට මේ වාර්තාව රැක ගන්නද ඔබ ඕනෑ ම ආධුනිකයකුගේ පොතක් අච්චු ගහන්නේ…

කවුරු හරි එහෙම කියනවා නම් මං කියන්නෙ මෙච්චරයි. මං ආධුනිකයන්ට අත දෙන එක නවත්වනවා. ඔය කියන අය ඒ ආධුනිකයන්ට උදව් කරන්න ඕනේ. අලුත් ලේඛකයකුට පොතක් මුද්‍රණය කරගන්න අවස්ථාව නොදෙන කාටවත් ඔය චෝදනාව මට එල්ල කරන්න බැහැ. විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරනවා කියන්නෙ, විශාල එකතුවක් තියෙනවා කියන එක. විශාල පොත් එකතුවක් තියෙන තැනට පාඨකයා එන්න කැමැතියි.

ලේඛකයන්ට ඔබ හොඳින් සලකනවද…

මං ළඟට එන කිසි ම ආධුනික ලේඛකයෙක් මං හරවලා අරින්නෑ. පොත හොඳ න ම් අවස්ථාව දෙනවා. කර්තෘ භාගය සියයට දහය දෙනවා. දහ දාහකට වැඩි ලේඛක පිරිසකගේ විසිතුන්දාහකට ආසන්න පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරලා තියෙනවා.

ඇයි මේ ප්‍රකාශකයො කර්තෘ භාගය හැමදාම සියයට දහයෙ ම තියාගෙන ඉන්නෙ…

ඊට වැඩිය දෙන්න බැරි නිසා. 33.32%ක් මුද්‍රණයට යනවා. 40%ක් බෙදා හැරීමේ ගාස්තුව. කතුවරයාට 10% යි. ප්‍රකාශකයාගේ ලාභය 16.68% යි. ඒක ඇතුළෙත් හුඟක් වියදම් තිබෙනවා. ඒ නිසා කොහොමටවත් ඊට වැඩිය නම් දෙන්න බැහැ.

ලේඛකයකුගෙ හොඳින් විකිණෙන පොතක් කතෘ භාගය නැවත නොගෙවා හිතු හිතූ විදියට ප්‍රකාශකයා මුද්‍රණය කරගන්නවාය කියන චෝදනාවට ඔබ මොකද කියන්නෙ…

තනියෙන් කරන අයට එහෙම පුළුවන් ඇති. ආයතනයක හැමදේම ලියැවෙන විට සටහන් කරන විට එහෙම කරන්න බැහැ.

ඔබට පොතක් ලියන්න හිතුණෙ නැත්තෙ ඇයි…

මං හැමදාම කළේ අනුන්ගෙ පොත් මුද්‍රණය කරපු එක. 2015 දි මාත් පොත් දෙකක් ලියුවා. ‘පින් සහ පව්’ එකක්. ‘සිත මනස හා ආගම්’ අනෙක් පොත. මිල රුපියල් පණහයි. මේ වෙනකොට පොත් තිස්පන්දාහක් විකිණිලා තිබෙනවා. ජීවිතේ හදා ගන්න… හොඳින් ජීවත් වෙන්න, දරුවකුට වුණත් තෑගි දෙන්න පුළුවන් දහම් පඬුරක් ඒ, පොත් දෙක.

කලෙක පොත් බැඳපු සිරිසුමන ගොඩගේ කොහොමද, පොත් සාප්පු අයිතිකාරයෙක් වුණේ…

පොත් බැඳපු මරදානෙ වර්ග අඩි දහයයි දහයෙ පොඩි කාම‍රේ ම ෂෝ කේස් එකක් තියලා පොත් ටිකක් දැම්මා. ඒක විකිණුනාම තව දැම්මා. පොත් ටිකක් බෑග් එකක දමාගෙන පිරිවෙන් ගාණෙ ගිහින් විකිණුවා. පොත් බැඳීම හරහා හඳුනා ගත්තු වියත් හාමුදුරුවරු මට උදව් කළා. පිරිවෙන් හා පුස්තකාලවලින් වැඩ එන්න ගත්තා. මං මාලිගාකන්දට ගියා. වැහෙන්න ගිය අච්චු කන්තෝරුවකට කතා කරලා වැඩ පටන් ගත්තා. ඒ අතරෙම පාලි, සංස්කෘත ඉගෙන ගත්තා. එහෙම ආපු ගමන තමයි මේ.

එතකොට පොත් ප්‍රකාශකයෙක් වුණේ…

මං විද්‍යෝදයේ පුස්තකාලෙ පොත් අරන් ඇවිත් බඳිනවා. පුස්තකාලෙ සහයක වෙලා හිටියෙ මහින්ද රාජපක්ෂ මහත්තයා. එයා තමයි මට හුඟක් පොත් දුන්නෙ බඳින්න. මහින්ද මහත්තයා මට කිව්වා, ‘මගේ යාළුවෙකුගේ පොතක් තියෙනවා, ඔයා අච්චු ගහන්න…’ කියලා. මං වැඩේ බාර ගත්තා. ලයනල් සරත් කර්තෘ. පොතේ නම, ‘හිතුවෙ නැහැ මම ඔහොම වෙයි කියා…’ 1969 මං අච්චු ගහපු ඒ පොතේ ඒ නමේ හැටියට ම හැම දේම වුණා. මම හිතුවෙත් නැහැ මට මෙහෙම වෙයි කියලා. මහින්ද මහත්තයා හිතන්නත් නැතිව ඇති ජනාධිපති වෙයි කියලා. එහෙම බලද්දි මං අච්චු ගහපු පළමු පොත හරිම දෛවෝපගතයි. අදත් මං ඒ පොත මුද්‍රණය කරනවා.

එහෙම පටන්ගත්තු ගමනේ අද වෙන කොට කොයි තරම් පොත් මුද්‍රණය කළාද…

ගනින්න බැහැ. හැම අවුරුද්දක ම අලුත් පොත් එක්දහස් දෙසීයක් විතර මුද්‍රණය කරනවා. මෙයින් බහුතරය ආධුනික ලේඛකයන්ගේ.

පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද…

අපේ පවුලෙ ළමයි නවයක්. මම හයවැනියා. මේ හැමෝම ගියේ පාලටුව ගුණරත්න විදුහලට. මං තමයි ගණිතයේ දක්ෂයා. ඒත් ගෙදර අගහිඟකම් නිසා ම ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඔළුවෙ තිබුණෙ ම කීයක් හරි හොයන විදිය. තණකොළ කැපුවේ ගොටුකොළ මිටි බැන්දෙ ඒ නිසා. පොඩි වුණාට ගණං හිලව් බේරගෙන ඒ පුංචි වෙළෙඳාම කරගන්න තරම් මං දක්ෂයෙක් වුණා.

එතකොට කොළඹ ආවේ කොහොමද…

මේ දුක් විඳින ජීවිතේ හොඳට ම දැනුණෙ අවුරුදු දාහතර පහළොව වෙද්දි. පංතියෙ තව මං වගේ ම දුප්පත් යාළුවො තුන්දෙනෙක් හිටියා. ‘අපි තුන්දෙනා ම කොළඹ යමු. රස්සාවල් තියෙන්නෙ කොළඹ…’ අපි කතා කරගත්තා. ගෙවල්වලටත් නොකියා මහ පාන්දර වන්දනාවෙ යන ගමේ නඩයකගෙ ලොරියක නැඟිලා අපි ගමෙන් පිටවුණා. මං කළුතරින් බැහැගත්තා. බත් කඩේක අත් උදව්කාරයෙක් වුණා. ඒක අපා දුකක්. නොකා නොබී හරි ගෙදර හිටියා නම්… කියලා හිතුණු වාර අනන්තයි. ඒත් මං මැරීගෙන වැඩ කළා. දියුණුවක් නැති මේ රස්සාව අතෑරලා මං කොළඹ ආවේ ඊට පස්සෙ.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ මොනවද…

මරදාන කියන්නෙ අද වගේ ම එදත් අන්තිම නරක පළාතක්. ඒ වගේ පරිසරයකයි මගේ ජීවිතේ හොඳම තරුණ විය ගෙවුණේ. එහෙම තැනෙක ජීවත් වුණා කියලා මං නැතිවුණේ නැහැ. මං නෙළුමක් වගේ මතු වුණේ ඒ ගොහොරු මඩෙන්මයි. එහෙම වෙන්න පුළුවන් වු‍ණේ අම්මා තාත්තා ජීවිතයට ඇතුළු කරපු හොඳ ගතිගුණ නිසා.

තරුණ කාලෙ ඔය තරම් ම සාධු ජීවිතයක් ගත කළාය කියන එක විස්මයට කාරණයක්…

ඇයි බැරි. අරක්කු බොන මිනිස්සු අතරේ මාත් හිටියා. ඒ, නොබී බලාගෙන. අතට ලැබුණු ගාණෙන් කටට රහට කාලා, බීලා වියදම් කළේ නැහැ. කෑවෙත් බඩ පිරෙන සාමාන්‍ය කෑම වේලක් විතරයි. යාළුවො චිත්‍රපටි බලලා විනෝද වෙද්දි මං කළේ, බඳින්න ගෙනාපු පැරැණි සාහිත්‍ය පොත් කියවපු එක.

ඔබ මේ හඹා ගියේ ඉලක්කයක් ද…

ඔව්. මට තිබුණෙ කොහොම හරි ජීවිතේ ගොඩ එන්න ඕනේ කියන ඉලක්කය. ඊළඟට මං රත්මලානේ කුරුල්ලො මාළු ඇතිකරන කඩේක රස්සාවක් හොයා ගත්තා. පඩිය රුපියල් පහයි. අවුරුද්දක් විතර වැඩ කරලා මං කළුබෝවිල හිටි අයියලගෙ ගෙදර ගියා. ඒ දවස්වල අයියටත් අමාරුයි. කරන්න දෙයක් නැතිව මං රස්සාවක් හැටියට දර කරත්තයක් තල්ලු කළා. ඊට පස්සෙයි මං එම්.ජේ.කුරේ සමාගමේ අකුරු අමුණන්න ගියේ.

දැන් ඔබේ වයස කීයද…

අවුරුදු 81 යි. බයිපාස් එකක් කළා, ඒ වුණාට මගේ අවහිර වුණු ලේ නහර වෙනුවට සොබා දහමෙන් අලුත් ලේ නහර හැදිලා තිබුණා. වෛද්‍යවරුන්ට අනුව ඒක බොහෝම දුලබ සිදුවීමක්. හෘදයාබාධයක් හැදිලාත් මං කිසිම අමාරුවක් නැතිව ඉඳලා තියෙන්නෙ ඒ ශරීරයෙන් ම ඉපදුණු අලුත් නහර නිසා. මං ධර්මයේ හැසිරෙනවා. ධර්මය මාව සුරකිනවා.

වැඩ කළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද…

අදත් මං පාන්දර හතරට නැඟිටිනවා. සූර්ය උදාවත් එක්ක ම කුරුල්ලා සීයක් හමාරක් මගේ ගෙදර රූෆ්ටොප් එකට එනවා. අඹ, කෙසෙල්, ගස්ලබු, බිස්කට් පුරවපු භාජනෙත් අරන් මං උඩට එන බව උන් දන්නවා. මං එනකල් මයිනො, ගිරව්, පරෙවියන්, කපුටන්, කොවුලන් වගේ ම ලේනුන් උඩ තට්ටුවෙ තැන් තැන්වල ඉන්නවා. මේ කුරුලු දානෙ දීලා තමයි මං සියලු වැඩ පටන් ගන්නේ. එතැන ඉඳන් දවස ගත කරන්නේ පොත් සාප්පුවේ. ප්‍රෙස් එකේ.

ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද…

මං ජ්‍යෙතිෂ්‍යය ඉගෙන ගත්තෙ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන්. ශිල්පෙ දන්න නිසා විශ්වාස කරනවා. මං ‘පියදාස ගොඩගේ’. ‘සිරි සුමන’ කියලා ගණ පිහිටවපු නම දාගත්තේ මමමයි. මගේ ව්‍යාපාරවලට නැකැත් හැදුවෙත් මමමයි. එහෙමයි කියලා හොඳ දේකදි හැර මං ඒ මත්තෙ එල්ලිලා ඉන්නෑ.

ලෝකෙ වටේ ඇවිදලා, විඳින්න තරම් හිතක් නැද්ද…

මං ගිහින් තියෙන්නෙ ජපානය, ඉන්දියාව සහ මාලදිවයිනට විතරයි. තරුණ කාලෙ ආසාව තිබුණට එහෙම යන්න තරම් ධනයක් තිබුණෙ නැහැ. දැන් සල්ලි තිබුණට අවස්ථාව තිබුණට යන්න හිතෙන්නෙ නැහැ. හේතුව ඉඳුරන් පිනවන්න ඕනෙ නැහැ කියලා හිතෙන නිසා.

‘සල්ලි තිබුණට ඔබට සැප විඳින්න පින නැහැ…’ කාට හරි එහෙම හිතුණොත්…

කන කෑමවලවත්, අඳින ඇඳුමෙ පැලඳුමෙවත් නෙවෙයි සැපය තියෙන්නේ. හිතේ. හිතේ සතුට නැතිනම් ඔය මොන දේ තිබුණත් වැඩක් නැහැ. අදත් මං අඳින්නෙ සුදු ජාතික ඇඳුම. සරලයි – සැහැල්ලුයි. ගමේ කෑම වේල තරම් මට ඉස්තරම් වෙන මොනවත් නැහැ. ආධුනිකයෙක් මගේ මේසෙ ළඟට ඇවිත් පොතක් පළ කරගන්න ලැබුණම ඔවුන්ගේ මුහුණෙ මතුවන සතුට සල්ලි වලට වඩා කොයිතරම් වටිනවද… එවැනි අවස්ථා මං මදියි නොකියන්න විඳිනවා.

ඔබෙන් පසුව මේ ව්‍යාපාරවලට මොනවා වෙයිද…

කොයි ව්‍යාපාරයද සදාකල් තියෙන්නෙ…? යනවා නම් ගියපුවාවේ… නැතිනම් නැවතුනාවේ. ඉන්න කල් හොඳින් කරනවා. අපිට දරුවො නැහැ කියලා අපි තනිවෙලා නැහැ. තාත්තෙක් වෙන්න බැරිවුණා කියලා දුක්වුණේ නැහැ. නෝනගෙත් මගේත් දෙපාර්ශ්වයේ ම දරුවන්ට උදව් කළා. ඒ අය මේ ව්‍යාපාරවල ඉන්නවා. ඒ අයත් දියුණු වෙලා මේවත් දියුණු කරපුවාවේ.

නොකා නොබී බිස්නස් එකක් හදලා අනුන්ට ම දීලා යන්න දුක නැද්ද…

එහෙම කියලා මේවා යනකොට අරන් යන්නත් බැහැනේ. අද මං වැඩිය මේ දේවල් හිතන්නෙ නැහැ. මගේ බිරිය නන්දා සියලු වගකීම් දරාගෙන වැඩ කරනවා. මගෙන් පස්සෙ මේවා බාරගන්න අයත් ආධුනික ලේඛකයන්ට අත දීලා සේවයක් එක්ක ම පවත්වාගෙන යන එකයි මගේ සතුට.

මොනවද ඔබට තව දිනන්න ඉතිරිවෙලා තිබෙන්නේ…

අතේ සත ගාණක් තියාගෙන කොළඹ ආපු මං අනේක විධ දුක් විඳිනවා. අන්තමේ පොත් කර්මාන්තය ශිල්පයක් විදියට ඉගෙන ගන්නවා. පිටකොටුවෙන් එළු හම්, කාඩ් බෝඩ්, ගම්… අරගෙන ගිහින් සෙක්ෂන් තියලා පොත් මහලා, පිට කවරෙට කාඩ්බෝඩ් කපලා, පදම් කළ එළු හම අරගෙන ඒ සුදු හමට කුකුල් සායම් කැට දියකරලා කවරෙ වර්ණ ගන්වලා, පොත් පිටු පෙරළන්න ලේසි වෙන්න කවරෙ ඇතුළෙන් ‘ඕපන්’ එකකුත් තියලා කවරෙට රත්‍රන් පාටින් රටා ඇඳලා කුප්පිලාම්පු එළියෙන් පොත් බැඳපු මං, අද ඉන්නෙ කොතැනද… මං මගේ ඉලක්කෙට ඇවිත් ඉවරයි. ජීවිතේ දිනලත් ඉවරයි.

| ඡායාරූප – විමල් කරුණාතිලක
| ඉනෝකා පෙරේරා බණ්ඩාර

Comments

Popular posts from this blog

දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් තාම විවාහයට සහකාරයෙක් නැති හොංකොං ප්‍රකෝටිපති දියණියගේ කතාව | PHOTOS

ඇමරිකාවේ පිහිටි Google දත්ත ගබඩාවේ ඔබ නොදත් කරුණු මෙන්න